අරපිරිමැස්මේ විද්‍යාව

Sunday, September 26, 2010

ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපළ


ලැබෙන ආදායමින් කොටසක් අනාගතය වෙනුවෙන් ඉතිරිකර තැබීමට බොහෝ අය උනන්දු වෙති.එය විවිධ අරමුණු විවිධ බලාපොරොත්තු මත සිදුවිය හැක.මුදල් ඉතිරි කළ පසු එය ප්‍රයෝජනයට ගන්නාතුරු කිහිප ආකාරයකින් සුරක්ෂිතව තැබිය හැක.මුදල් වශයෙන් තබාගැනීම එක් ක්‍රමයකි.එහෙත් එසේ තබා ගැනීම ආරක්ෂාකාරී නොවන බැවින් ඒ සඳහා වෙනත් මාර්ග තෝරා ගැනේ.ඉතුරුම් ගිණුමක් ජංගම ගිණුමක් හෝ ස්ථාවර ගිණුමක් ආරම්භකර බැංකුවක තැන්පත් කළ හැකිය.භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීම සඳහා යෙදවිය හැකිය.එසේත් නැත්නම් ව්‍යාපාර ආයතනවල කොටස් මිලදී ගැනීම සඳහා එම මුදල යෙදවිය හැකි වේ.ඒ අනුව කොටස් මිලදී ගැනීම යනු ඉතුරුම් යෙදවිය හැකි විවිධ මාර්ග අතරින් එකකි.

කොටසක් යනු කුමක්ද?

ලාභයෙන් කොටසක් සමානුපාතිකව ලැබෙන අයුරින් සමාන කොටස්වලට බෙදා වෙන් කරන ලද කිසියම් සමාගමක මූලධනයෙන් එක් ඒකකයක් කොටසකින් නියෝජනය වේ.හිමිකරගෙන ඇති කොටස් ප්‍රමාණයෙහි විශාලත්වය අනුව එම සමාගමට කොටස් කරුවාගේ ඇති අයිතියද අඩු වැඩි වේ.

සමාගම් කොටස්වල මුදල් ආයෝජනය බැංකුවල මුදල් තැන්පත් කිරීමට වඩා වෙනස් වේ.බැංකු තැන්පත් වලට පොලී ලැබෙන්නාසේම කොටස්වල ආයෝජනය කරන මුදල් සඳහා ලාභාංශ ලැබේ.එහෙත් ස්ථිර වශයෙන්ම කොටස් හිමියන්ට ලාභ ලැබෙන බවට කිසිදු සහතික වීමක් නැත.කොටස් අයත්වන සමාගම අදාළ වර්ෂයේදී ලාභයක් අත්කර ගතහොත් සහ එම ලාභ වලින් කොටසක් කොටස් හිමියන් අතර බෙදා දීමට තීරණය කරනු ලැබුවොත් පමණක් කොටස්වලට ලාභ ලැබෙනු ඇත.සමාගමක් එක් වර්ෂයක් තුළදී විශාල ලෙස ලාභ ලබා ගතහොත් කොටස් හිමියන්ට ද විශාල ලාභාංශයක් ලැබෙනු ඇත.එය එම මුදල් බැංකුවෙහි තැන්පත් කළා නම් ලැබිය හැකිව තිබූ පොළියට වඩා වැඩිවීමට ඉඩ ඇත.බැංකු තැන්පතු සඳහා නියමිත පොළියක් ස්ථිරවම ලැබේ.කොටස්වල ආයෝජනය සඳහා ලාභාංශ ලැබීමට හෝ නොලැබීමට ඉඩ ඇත.එම ලාභාංශ බැංකු පොළියට වඩා විශාල වශයෙන් වැඩි අගයක් ගැනීමට ඉඩ තිබෙන අතරම කිසිදු ලාභයක් නොලැබීමට ද ඉඩ ඇත.

එසේ නම් ඉතිරි කරගෙන ඇති මුදල් බැංකුවල තැන්පත් නොකර කොටස්වල ආයෝජනය කිරීමට පුද්ගලයන් පෙළඹෙන්නේ කුමක් නිසාද?ලාභාංශ හැරුණු විට කොටස්වල ආයෝජනය කළ විට වෙනස් වසියක්ද අත් වේ.එනම් ආයෝජනය කළ ප්‍රාග්ධන ප්‍රමාණයෙහි වටිනාකම වැඩි වීමයි.කොටස් මිලදී ගැනීමට සහ අලෙවි කිරීමට කොටස් වෙළඳපොළෙහි ඉඩ ලැබේ. එහි පවතින ඉල්ලුම් සහ සැපයුම් තත්වයන් අනුව කොටස්වල මිල දිනපතා වෙනස් වේ.
මෙය කොටස් 2 කින් යුක්තය.
  1. ප්‍රාථමික කොටස් වෙළඳපළ
  2. ද්විතියික කොටස් වෙළඳපළ
පසුගිය කාලය තුළ කොටස් වෙළඳපළේ තත්වය















ආශ්‍රිත ග්‍රන්ථ:- මද්දුමබණ්ඩාර සුනන්ද,(1998),ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපළ,අභය මුද්‍රණ ශිල්පියෝ, කඩවත

Tuesday, September 14, 2010

පෞද්ගලීකරණය

පෞද්ගලීකරණය යනු ආර්ථිකය ප්‍රතිව්‍යුහකරණය සඳහා භාවිතා කරණු ලබන උපාය මාර්ග වලින් එකකි.ප්‍රතිව්‍යුහකරණය ක්‍රියාවලියසාර්ථක වීමට නම් පෞද්ගලීකරණය ක්‍රමවත්ව කිරීම සඳහා පියවර ගැනීම අත්‍යවශ්‍යය.පෞද්ගලීකරණය දශක 3කට වැඩි කාලයක් තිස්සේ මෙරට ප්‍රචලිතව පවතින සංකල්පයකි.
පෞද්ගලීකරණය කරා ඒකරාශී වන ක්‍රියාවක් වශයෙන් පෞද්ගලීකරණය ඉතා සරලව අර්ථ නිරූපනය කළ හැකිය.රාජ්‍යව්‍යවසායන් සහ පෞද්ගලීකරණය එක්ව සලකනවිට පෙනී යන්නේ රජය විසින් භාරගෙන තිබූ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය පෞද්ගලික අංශයට පැවරීමේදී පෞද්ගලීකරණය යන ක්‍රියාව සිදුවන බවය.

"පෞද්ගලීකරණය යනු පෞද්ගලීක නොවන දේපළ වලින් පෞද්ගලීක දේපළ කරා පැවරීමේ ක්‍රියාවලියකි."
ෆෙඩ්‍රික් ඊබට්.
ප්‍රායෝගික අර්ථයෙන් ගත්කළ පෞද්ගලීකරණය 3න් ආකාරයකින් කරනු ලැබිය හැකිය.
  1. මානව අවශ්‍යතා ඉටු කිරීම සඳහා රාජ්‍ය අංශයට වඩා වැඩි විශ්වාශයක් පෞද්ගලීක අංශය කෙරෙහි දැක්වීම.
  2. ක්‍රියාත්මක වීමේ අර්ථයෙන් ගතකළ ව්‍යවසායන්හි රාජ්‍ය හිමිකාරත්වය කළමනාකරණය සහ මෙහෙයවීම පෞද්ගලීකඅංශයේ මෙහෙයුම් සමානුපාතිකව ඉහළ යාමේදී අවම මට්ටමක පැවතීම.
  3. බලපෑම් කිරීමේ අර්ථයෙන් ගත් කළ පෞද්ගලීකරණය යනු රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීක අංශයට පැවරීම.
පෞද්ගලීකරණයේ ඉලක්ක
  • රජයේ අධිකතර වියදම් අවම කිරීම.
  • නව කළමනාකරණ ශිල්පක්‍රම වලින් සංවිධානය පෙරළාශක්තිමත් කිරීම.
  • දේශීය හා විදේශීය ආයෝජනය ආකර්ෂණය කරගැනීම.
  • රාජ්‍යයේ මූලික ආර්ථික ක්‍රියාකාරීත්වයන් විමධ්‍යගත කිරීම.
  • ජාත්‍යන්තර ණයදෙන ආයතන විසින් නියම කරනු ලබන කොන්දේසිවලට අනුකූලවීම.
  • රාඡ්‍ය අංශය තුළ ඇති වී තිබෙන දේශපාලනීකරණය ඉවත් කිරීම.
පෞද්ගලීකරණ වැඩසටහනක් අනුගමනය කිරීමෙන් රජය සපුරා ගැනීමට අදහස් කරන අරමුණු ආර්ථික විද්‍යාඥ Hanke විසින් සාකච්ඡා කරනු ලැබිණ.ඒවා පහත දැක්වෙන පරිදි සම්පිණ්ඩනය කළ හැකිය.
  • ආර්ථික කාර්යක්ෂමතාව වර්ධනය කිරීම.
  • අයවැය හිඟය පියවනු වස් රජය සතු ව්‍යවසායන් විකිණීම.
  • ආර්ථික තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුළ දේශපාලනකරණය ඉවත් කිරීම.
  • පාඩු ලැබෙන රාජ්‍ය ව්‍යවසායන් හේතුවෙන් ඇතිවන වියදම් අඩුකිරීම.
  • රාජ්‍ය අංශයේ වෘත්තීය සංගම්වල බලය අඩු කිරීම.
පෞද්ගලීකරණයේ ස්වරූපයන්
1.පැවරීමෙන්
(අ)විකිණීම
  • පෞද්ගලික ගැනුම්කරුට
  • මහජනයාට
  • සේවකයින්ට
  • භාවිතා කරන්නන්ට හෝ ගනුදෙනුකරුවන්ට
(ආ)නිදහස් පැවරීම
  • සේවකයින්ට
  • භාවිතා කරන්නන්ට හෝ ගනුදෙනුකරුවන්ට
  • කලින් අයිතිකරුවන්ට
2.බලය පැවරීමෙන්
  • ගිවිසුම
  • වරණය
සහන
බදු
  • ප්‍රදානය
  • වවුචර
  • බලය
3.විස්ථාපනයෙන්
  • පැහැර හැරීම
  • ඉවත්වීම
  • අවිධිමත්කරණය
පෞද්ගලීකරණය වැඩසටහනේ දුර්වලතා
  • ආයතනික වැඩසටහනේ දුර්වලතා
  • විනිවිද පෙනෙන සුළු භාවයේ ගැටලු
  • ප්‍රාග්ධන වෙළෙඳපොළේ සංරෝධක
  • ඵලදායි නොවන ආර්ථික ප්‍රතිපත්ති
  • ශ්‍රම වෙළෙඳපොළේ ගැටලු
  • සැලසුම්කරණයේ දුර්වලතා

ආශ්‍රිත ග්‍රන්ථ:- ආර්ථික විමසුම, 2001 අප්‍රියෙල්/ජූනි, පරිගණක මුද්‍රණ අංශය,මහජන බැංකුව

Wednesday, September 8, 2010

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල




ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යනු ලෝක බැංකුව මෙන් සංවර්ධනය සඳහා කැප වූ ආයතනයක් නොව ජාත්‍යන්තර මූල්‍ය ක්‍රමය ස්ථාවරව පවත්වා ගැනීම සඳහා ඇතිකරනු ලැබූ ආයතනයකි.මෙම ආයතනය විසින් සංවර්ධනය වෙමින් පවත්නා තුන්වැනි ලෝකයේ රටවල් මුහුණපා ඇති ප්‍රබලතම ගැටලුවක් වන ගෙවුම්ශේෂ හිඟයන් පියවාගැනීමට කෙටි කාලීන ණය සැපයීම සිදු කරනු ලබයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රභවය ඇතිවුයේ 1944 ජූලි මස 1වැනි දින ඇමරිකාවේ නිව් හාම්ස්පයර්හි ප්‍රාන්ත රජයේ බ්‍රෙටන්වුඩ්හි පැවති ජාත්‍යන්තර මූල්‍ය සම්මේලනයේ දී ගත් තීරණයක් අනුවය.2 වන ලෝක යුද්ධයෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය ක්‍රමයේ අනාගතය කුමක් විය යුතු ද යන්න පිළිබඳව ඇමරිකාව හා බ්‍රිතාන්‍ය අතර පැවති යුද කාලීන සාකච්ඡා අවසානයේ මෙම සමුළු වාරය කැඳවනු ලැබීය.මෙහි ආරම්භක සාමාජික සංඛ්‍යාව 44ක් වූවත් දැනට එහි සාමාජිකත්වය 181ක් වෙයි.
එහි සාමාජිකත්වය වර්ධනය වීමට බලපෑ හේතු 2 ක් විය.
  1. යටත්විජිත වාදයට ගොඳුරු වූ රටවල් නිදහස ලැබීම.
  2. යුරෝපයේ කොමියුනිස්ට්වාද බිඳ වැටීමත් සමඟම එම රටවල් ද IMF සාමාජිකත්වය ලැබීම.
විවිධ සමාජ ආර්ථික ක්‍රමයන් අනුගමනය කරනු ලබන රාජ්‍යන්ගෙන් මෙය සංයුක්ත වෙයි.වඩාත්ම වැඩි සාමාජික සංඛ්‍යාවක් නියෝජනය කරනුයේ සංවර්ධනයේ විවිධ අවස්ථාවන්හි සිටින තුන්වැනි ලෝකයේ රටවල් විසිනි.සාමාජිකත්වය අතින් වැඩි වුවද IMF සංවිධාන රටාව අනුව ජාත්‍යන්තර මූල්‍ය ක්‍රමය හැසිරවීමට අදාළ මූල්‍යමය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මෙම රටවලට කළහැකි බලපෑම අඩුය.මෙය පිහිටුවීමෙන් පසුව එහි විකාශනය ප්‍රධාන අවස්ථා 4ක් යටතේ සාකච්ඡා කළ හැක.මෙම අවස්ථාවන් වෙන්කර ගනු ලබන්නේ ඒ එක් එක් අවස්ථාවේදී අරමුදල මුහුණ පෑ ගැටලුත් ඒ ඒ අවස්ථාවන්හිදී ජාත්‍යන්තර මූල්‍ය ක්‍රමයේ දක්නට වූ සුවිශේෂතාවන්ද පදනම් කරගෙනයි.එලෙස වෙන්කර දක්වනු ලබන ප්‍රධාන අවස්ථාවන් මෙසේයි.
  • 1946 - 1960

  • 1961 - 1971

  • 1972 - 1981

  • 1982 සිට මේ දක්වා

ජාතික මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාන්විත වශයෙන් සම්බන්ධීකරණයට IMF සංවිධානය සතු බලය ශක්තිය අල්පය.G7 කණ්ඩායම සතු බලය නිසාම ජාත්‍යන්තර මූල්‍ය ක්‍රමයට බලපාන ඇතැම් තීරණ කිසිදු නියෝජිකත්වයකින් තොරව ඔවුන් විසින් ගනු ලබයි.

ලෝක ආර්ථික අර්බුදය හා ශ්‍රී ලංකා ආර්ථිකය

ලෝකයේ වරින්වර ආර්ථික අර්බුදයන් ඇති වී ඇත.ගෝලීය වශයෙන් ප්‍රධාන වර්ධනයන් 3ක් වාර්තා වී ඇත.
  1. 1929 - 1933 - මහා ආර්ථික පරිහානිය(Great Deppression)
  2. 1973-74 සහ 1978-79 - ආර්ථික ස්ථායිධමනය(Stagftation)
  3. 2007 -2009 - මහා ආර්ථික පසුබෑම(Great Recession)

කලාපීය වශයෙන්ද විවිධ ආර්ථික අර්බුදයන් ඇති වී ඇත.
  • 1994 මෙක්සිකෝ මූල්‍ය අර්බුදය(පෙසෝ අර්බුදය)
  • 1997 අග්නිදිග ආසියාතික මූල්‍ය අර්බුදය(බාත් අර්බුදය)
  • 1998 රුසියානු මූල්‍ය අර්බුදය(රූබල් අර්බුදය) ආදිය ඉන් වැදගත් වේ.


මෑත වර්ෂයන්හි ලෝකය මුහුණ දුන් ආර්ථික අර්බුදය අංශ 3කින් ව්‍යාප්ත විය.ඒ අනුව ලෝකයට අර්බුද 3කට මුහුණ පෑමට සිදුවිය.

  1. ලෝක ආහාර අර්බුදය - 2007-2008
  2. ලෝක තෙල් අර්බුදය - 2007-2008
  3. ලෝක මූල්‍ය අර්බුදය - 2007-2009


ආර්ථික විද්‍යාවේ අර්බුදයක් යනුවෙන් හඳුන්වනු ලබන්නේ සමස්ථ ආර්ථිකයේ හෝ එක් අංශයක අසමබරතාවයක් පැවතීමයි.ඕනෑම ආර්ථික අර්බුදයක් සරල ඉල්ලුම් - සැපයුම් න්‍යාය මඟින් විග්‍රහ කළ හැකිය.ආර්ථික අර්බුදයක් යනු ඉල්ලුම හා සැපයුම අතර අසමතුලිතතාවයක් ඇතිවීමයි.

ආහාර අර්බුදය ඇතිවූයේ ආහාර ඉල්ලුමට සරිලන ආහාර සැපයුමක් ඇති නොවීමයි.නැඟී එන ආර්ථිකයන් ලෙස සැලකෙන චීනය,ඉන්දියාව බ්‍රසීලය දකුණු අප්‍රිකාව ආදී රටවල ආහාර ඉල්ලුම ඉහළ ගොස් ඇත.තෙල් මිල ඉහළ යාම නිසා ආහාර ප්‍රවාහන වියදම් ඉහළ යාමද ආහාර සැපයුම කෙරෙහි අහිතකර ලෙස බල පෑවේය.ආහාර ඉල්ලුම හා ආහාර සැපයුම අතර පැවති පරතරය නිසා 2007/2008 වර්ෂයන්හි ආහාර මිල 300%කින් පමණ ඉහළ ගියේය.


තෙල් අර්බුදයට බලපෑ කරුණු කීපයකි.

  • ඇමරිකාව ඇතුළු බටහිර රටවල් ඉරාකය ආක්‍රමණය කිරීම.
  • ඉරානය කෙරෙහි පැනවූ සම්බාධක.
  • ඔපෙක් රටවල තෙල් සැපයුම සීමා කිරීමේ කොන්දේසි.

තෙල් මිල ඩොලර් 50 පමණ සිට 2008 ජූනි වන විට ඩොලර් 147ක උපරිම මිලකට පත්විය.ඉන්පසු ක්‍රමයෙන් ඩොලර් 32 දක්වා 2009 මැද දී පහත වැටුණි.


ඇමරිකා එක්සත් ජනපදයේ මූල්‍ය වෙළඳපළ බිඳවැටීම මූල්‍ය අර්බුදයට මූලික හේතුව වශයෙන් දැක්විය හැක. ඇමරිකා එක්සත් ජනපදයේ උකස් වෙළඳපළ බිඳවැටීමත් ලේමන් බ්‍රදර්ස් නමැති ප්‍රධාන මූල්‍ය ආයතනය බිඳවැටීමත් සමඟ ඇමරිකන් මූල්‍ය අර්බුදය ආරම්භ විය.විශේෂයෙන් තෙල්මිල ඉහළ යාම නිසා වාහන ඉල්ලුම පහත වැටීමෙන් ඇමරිකන් හා යුරෝපීය මෝටර් රථ කර්මාන්තය විශාල පසු බෑමකට ලක්විය.

ශ්‍රී ලංකා ආර්ථිකය

ආසියාතික රටවලට ලෝක ආර්ථික අර්බුදය දැඩි බලපෑමක් ඇති නොකරන ලදි.ලංකාවට 6%ක වර්ධනයක් රඳවා ගැනීමට හැකිවිය.

ශ්‍රී ලංකාවේ මෑතකාලීන ආර්ථික වර්ධනය

  • 2005 - 6.2%
  • 2006 - 7.7%
  • 2007 - 6.8%
  • 2008 - 6.0%


ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම

  • 2005 - $ 1226
  • 2006 - $ 1402
  • 2007 - $ 1616
  • 2008 - $ 1969


2007-2008 ලෝක ආර්ථික අර්බුදය ශ්‍රී ලංකාවට මඳ වශයෙන් බලපාන ලද නමුත් ආර්ථිකය අවපාතයකට ලක් නොවීය.දකුණු ආසියාවේ හොඳම ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය ලෙස ලංකාව තේරී ඇත.2009 මැයි 18 වන දින ත්‍රස්තවාදය සහමුලින්ම පරාජය කිරීම ආර්ථිකය කෙරෙහි ඉතා යහපත් බලපෑමක් ඇති කර ඇත.ආරක්ෂක වියදම් පහත යාම නිසා සංවර්ධන වියදම් වැඩි කිරීමට හැකි වී ඇත.

ශ්‍රී ලංකාවේ පැරණි මුදල්

























ලෝක බැංකුව(සංවර්ධනය හා ප්‍රතිසංස්කරණය පිළිබඳ අන්තර් ජාතික බැංකුව)






දෙවන ලෝක සංග්‍රාමය නිසා ලෝකයේ බොහොමයක් රටවල් ආර්ථික පරිහානි තත්ත්වයට පත්වීමත් ආර්ථික අර්බුදවලට මුහුණපෑමට සිදුවීමත් නිසා 1944 ජූලි 1 දින සම්මත කරගත් බ්‍රෙට්න්වුඩ් ගිවිසුම යටතේ 1946 ජූනි 25 දින ලෝක බැංකුව පිහිටුවීය.බ්‍රෙට්න්වුඩ් ගිවිසුම යටතේ ලෝක බැංකුවත් සමඟ අන්තර් ජාතික මූල්‍ය අරමුදල පිහිටුවා ගන්නා ලදි.දැනට මෙහි සාමාජික රටවල් 186 කි.


ලෝක බැංකුවේ අරමුණු
ලෝක බැංකුවේ ප්‍රධාන අරමුණ වන්නේ සාමාජික රටවල තිරසාර ආර්ථික වර්ධනය හා සංවර්ධනය ඇතිකර ගැනීම තුළින් ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නංවාලීමයි.ලෝක බැංකුවේ වර්තමාන ප්‍රධාන අරමුණ සහශ්‍ර සංවර්ධන අභිමතාර්ථ ළඟාකර ගැනීමයි.


අනෙකුත් අරමුණු
  • ආර්ථික ප්‍රතිසංස්කරණය සහ සංවර්ධනය සඳහා සාමාජික රටවල් ගන්නා උත්සාහයන්ට සහයදීම.

  • සාමාජික රටවල පෞද්ගලික ආයෝජනය සඳහා ධෛර්ය දීම.
  • සාමාජික රටවලට කාර්මික සහය සහ උපදේශක සේවා සැපයීම.

  • ව්‍යාපෘති ණය සැපයීම පුළුල් කිරීමේ අදහසින් සාමාජික රටවලට ආර්ථිකයේ වෙනස්විය යුතු ප්‍රධාන අංශ හඳුන්වාදීම සහ දැඩි ආර්ථික ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සහයදීම.


ලෝක බැංකුව සිය අරමුදල් සපයා ගන්නා ආකාරය

  • සාමාජික රටවලින් ලබා ගන්නා සාමාජික දායක මුදල්

  • සාමාජික රටවල් ලබා ගත් ණය සඳහා ලැබෙන පොලී ආදායම

  • ණය වාරික ආපසු ලැබීම්

  • ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළට සුරකුම්පත් හා ණයකර නිකුත් කිරීමෙන්

  • සමුච්චිත ලාභ

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ණය ආධාර සපයා ඇති ව්‍යාපෘති
  • නෝටන් බ්‍රිජ් විදුලි බලාගාර ව්‍යාපෘතිය

  • මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය

  • කුරුණෑගල ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන

  • ලංකා සංවර්ධන මූල්‍ය සංස්ථාව සඳහා.

  • "සුමක" ණය ක්‍රමය සඳහා ජාතික සංවර්ධන බැංකුවට ණය ආධාර

Tuesday, September 7, 2010

ශ්‍රී ලංකාවේ මුදල් වෙළඳපළට සම්බන්ධ ආයතන

වාණිජ බැංකු

ඉතිරි කිරීමේ ආයතන

  • ජාතික ඉතිරිකිරීමේ බැංකුව
  • සේවක අර්ථ සාධක අරමුදල
  • සේවක භාරකාර අරමුදල

රක්ෂණ ආයතන
  • සී/ස ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හා සී/ස ජාතික රක්ෂණ සංස්ථාව
  • පෞද්ගලික රක්ෂණ සමාගම්

මූල්‍ය සමාගම්

මුදල් තැරැව්කාර ආයතන

සංවර්ධන බැංකු
  • ජාතික සංවර්ධන බැංකුව
  • DFCC බැංකු
  • රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව
  • ප්‍රාදේශීය සංවර්ධන බැංකු
  • සණස සංවර්ධන බැංකුව
  • ප්‍රමුඛ ඉතිරි කිරීමේ හා සංවර්ධන බැංකු

ආශ්‍රිත ග්‍රන්ථ:- වින්සන් මර්වින් ප්‍රනාන්දු ශ්‍රී ලංකාවේ මුදල් ආර්ථිකය(2000)යුනිවර්සල් ප්‍රින්ටින් සමාගම,නුගේගොඩ